1 July 2012

මා අභිමුවේ ඇයි මල මුකුලිත වූයේ

පායා ඇතත් දිනකර අද අහස්            තලේ
මහ වැහි කලුවකින් රිවි කැන් නතර  කලේ
ගොම්මන් පාලුවකි සිවු දිග පොලෝ  තලේ
පෙර යම තිබි සතුට නැත මා සිත   ඇතුලේ


රොන් බිවු බඹරිඳුන් මලකින් සිත්     විලසා
මලට මල් ගසට සලසන සෙත     වෙසෙසා
ඒ සෙත සැලසු බඹරිඳු රොන් ගනු සතොසා
අවුදින් මිලින මල දුටු වැනි මගෙ     මනසා

ඒ මල විකාස පද්මයක් ලෙස  වේද
මිලින වුවත් යලි හිරු දැක    පුබුදීද
ඒ මල් සුවඳ යලි මා සිත    නගාවිද
ඈ මදහසින් යලි මා සිත    පිරේවිද

4 June 2012

යහපත සැදෙයි පිලිපැදතොත් මෙම වදන

පැහැනද දසන් දසුනට දුන්           හසකනිනා
සිත් ලොබ වඩන් මන බන්දු සොඳ      රුවිනා
දෙවමින සවන් මදු විත තෙපලු           බසිනා
සකොබව කුලය ගෙන දුන් මල වරු   වැරිනා

පැහැයෙන් දුලද රුව සොඳ කල        කිඩාරම
ලං වූ කලට වැටහෙයි දුගදෙහි              තරම
රත දිදුලතත් පුෂ්පයෙ දකිනා           සැවොම
අලයෙහි රස විඳුම දෙයි අවසන්           සුසුම

සූ සැට රියන් දිග විජ්ජා                  යෂ්ටියට
එක ගුරුකමකි බල බිඳිනුව        නියමකොට
නොනමෙනු එකෙක් හුයේ    මහන්තත්තයට
ලියනෙමි සියළු ඔබ හිත සුව      කරනකොට 

17 May 2012

දිනයට ඉඩ දී සඳු හා සැඟවී ඔබගෙන් වෙන් වෙන්නම්

ඇවිද යන පා ලකුණු සදාකාලික        වේද
කාලයට යටව ගොස් වැලි පසට මුහු   වේද
අප හමුව දෙඩූ බස් සුළඟටම එක්       වේද
මිතු දමක් මේ විලස නිවාලනු හැකි    වේද

නොලැබුනත් හිඳින්නට සදාකල් නුඹ  ළඟම
මගේ කැඩපත් පවුර පුරා ඇත නුඹ     ගැනම
අප්සරා සිත්තමක් විලස එතුලින්    පෙනෙන
දුලයි ඔබ නිතින නාමයෙන් අප මිතු     දහම

සීත දුර හිමකරේ පෙරලමින් මතක      පොත
සුමුදු මල් පෙති අගැති පිනි කඳුල රඳා   නෙත
හිඳින සඳ සිතන් තව දුරක් යා යුතුව       ඇත
රිසිත් තව ලියනු, ඒ හෙයින් මින් තබමි   තිත

11 May 2012

රාහුල හිමි සරස්වතී තෛලෙ බීපු කතා පුවත

ශඩ් භාෂා පරමේෂර නමින් පිදුම් ලැබ           ගෞරව 
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන තතු කියමි   සොඳව 
සැළලිහිණිය කවිසේකර තව කවි පොත් ලියූ  මැනව
කෑගලු පුර උපන් සමිඳු ලබුවයි ලොව පූජිත       බව

ගාලු පුරේ විජයභාහු පිරිවෙන පුවතර             වන්නේ
වෑත්තෑවෙ ගුරු හිමි යට රාහුල නම වැඩ         ඉන්නේ
පිරිවෙන හැම සිත් පිනවූ ගිරවෙක් නිති     කලරින්නේ
හෙළ සාහිත කසුන් සමය කල මෙපුවත සිදු    වන්නේ

වෑත්තෑවෙ සමිඳු නිතර හර බර වූ බන              දෙසනා
බණට වඩින කල එතුමෝ වෙසෙස් කෙමක්   පිළිපදිනා
සරස්වතී මහ බල තෙල සොඳවා නැණ බෙල      වඩනා
ඇඟට විසත් නැණ බෙල දෙන මාත්‍රාව         සලකන්නා

එළු කෙන්දක් තෙලෙන් තෙමා සත් වරකුත් ගසා            ඉවත
එහි ශේෂය දිවේ තියා පතයි නුවණ ලැබෙනු                  නියත
රාහුල හිමි ගුරුතුමාගෙ කෙම ගැන යොමවයි තම             සිත
කෙතෙක් වෙයිද වැළඳුවහොත් තෙල් උගුරක් සැලසෙන  සෙත

වෑත්තෑවෙ හිමි පිරිවෙන තුල නොරැඳුණු නැකත  බලා
රාහුල හිමි සරස්වතී තෙල ගත්තා කටට              හලා
සිහි සුන් වී අද වැටුනේ හලාහලය උඩු              දුවලා
ගිරවා කෑ මොර දුන්නේ කියලා 'රාහුලය            මළා'

වෑත්තෑවෙ හිමි නම වෙත මෙවූ පුවත සැළ         වූවා
රාහුල හිමි සිටි අයුරින් සිදු වූ දේ සිහි                 වූවා
ගිලන් සමිඳු සුව කරන්න පණිවිඩයක්      පැතිරෙව්වා
තන කිරි ඇති මවු වරු වෙත ඉල්ලීමක්         කියවූවා 

'ඕනෑනම් ඔබ සැමටම රාහුල හිමි                   බේරගන්න
බේත් ඔරුව පිරී යන්න තනේ තියන කිරි           දොවන්න'
මගෙ බිලිඳුට සෙතක් වෙන්න මේ කල පින හේතු  වෙන්න
ගමේ සිටිය කිරි මවු වරු පටන්ගත්ත කිරි           දොවන්න

බේත් ඔරුව අඩක් උසට වන තෙක් මවු කිරි             පිරුනේ
සිහි සුන් වූ රාහුල හිමි මවු කිරි තුල                 ගිල්වෙන්නේ
තෙලෙහි විසේ බලයෙන්නේ සුදු කිරි නිල් පැහැ       ගන්නේ
මවු කිරි ගුණ තෙද පාමින් රාහුල හිමි සිහි                එන්නේ

දුවේ පුතේ මේ පුවතේ පාඩම් කීපයක්                       ඇතේ
හැම දෙයක්ම නිසි පමණට වැඩි වූ තැන විපත්          වෙතේ
මවු සෙනෙහෙත් මවු කිරියෙත් බලය හරිම උතුම්       පුතේ
රාහුල හිමි ලියු පත පොත කියවුවහොත නැණ      වැඩෙතේ

5 May 2012

පින්බර වෙසඟ සැම සිත් සුවපත් වේවා


නැගි හිරු බසින තුරු නොදැනෙන දිවි ... සටනේ
දින දින ගෙවා මරු අභිමුකයට ............. යන්නේ
දිවි තරඟයෙන් ඉසි කෝ මන් .........  පිරවෙන්නේ
මසිතට කුමක් විද මමවත් නැහැ .......... දන්නේ

කලබල දිවිය චංචල සිත සිහි ................ කරවා
සිත අව්ලුවන ගිනි දැල් වෙත සිත ........ යොමවා
පැතිරෙන වෙසක් සඳ කිරණින් සිත ....... නහවා
සල සිත තෙදස නිවුමට වෙහෙසෙමු .. සොඳවා 

ලොවුතුරු මහත් සම්බුදු බව .......... ලබන්නට
පිටදුන් වෙසෙස් බෝ රදුනගෙ .......... අභියසට
පිබිදුනු සුපුන් සඳ දැක බෝ පත් ........... මැදට
ඉටවමු උතුම් සදහම් මග  .............. සරන්නට

සකල සිත්හි ඉසි කෝ මන් දුරු ........... වේවා
සිල් සුව ලැබේවා මෙත් මල් ........... පිබිදේවා
සව් සිව් දේහි අනියත තතු .......... වැටහේවා
සැම සතහටම නිවන් සුමග ....... සැලසේවා

සීත හිම රටක සිට
වෙසක් සඳ දකින විට
කලාබර කවි කම
ලියවුනා සදැස මට!!

3 May 2012

වෙසක් කූඩුව

පන්සලේ ඉස්සරහ            වත්තේ 
පුවක් කඳ සිටුවලා            ඇත්තේ
ඊට පසෙකින් ගොක් රටාවෙන්
මල් පැලක් තුල පහන         දැල්වේ 

වෙසඟ ළඟ බව සිහිය          නැගුනේ
මේ දසුන නෙත ගැටුන           විටනේ
සොයුරු සමගින් එක්ව වෙසඟට
කුඩු හැදුමට පටන්               ගැනුනේ

මවු කූඩුවට පැටවූ                හතරයි
ශ්වේත පැහැයෙන් නයන    පිනවයි
ප්‍රභාෂර මද රැසින් දිලිසෙන
සිහින් රැලි මද පවනෙ ලෙල    දෙයි

වෙසක් කුඩුවෙ පහන්            දල්වා
නැරඹුවෙමු අඹ ගසෙහි          එලවා
අහෝ! ඉටිපන්දමක් පෙරලී
ගිනි නැගුණි කුඩුවම              දල්වා

මෙතෙක් වේලා දිලි දිලී            සිට
පහන් කූඩුව දැවෙයි ගිනි          වට
අපේ සිත් සෝ දුකෙහි දවමින්
දැවුනු අළු පතිත වෙයි මිහි       පිට

හිමි දෙසූ බන සිතට                නැගුනේ
අනිති ධර්මය මෙහෙහි         කෙරුනේ
උතුම් සදහම් සිහිය නගමින
දුකට පත් සිත                සනසගන්නේ 

2005 වසරේ එක්තරා දිනෙක මේ සංකල්පනා පැදියකට පෙරලූ කිවි මම්ම වේයැ

2 May 2012

ලොව්තුරු උතුම් පදවිය හිමි උනි මටද

බෝල් පිනි පොකුරු හිරිකඩ වැසි වැටෙන  තුරු
මීදුම ගලන තුරු වන මල් පිපෙන               තුරු
දහසක් සටන් හදවත් ඉරිතලන                  තුරු
ලය තෙත් උන ඇගෙ සෝ හඬ ඇසෙන     තුරු

කිසි අදහසක් නොදිටිමි දෙන පහන්       සිළු
සෙවනැලි වැටී ඇත ගෙය හැමතැනදී  ගොලු
දොර හැර ගියෙමි රැහි පලගැටි හඬය      රලු
මිදුලේ වියන ලද සඳ රැස් පැදුරු             මලු 

උඳුවප් මහේ සඳ මොර ඇති            රෑක
සීතල නිය තුඩින් ගත රලු වුනු         දාක
ගැබ්බර අහස හඬවා නිවමින්       සෝක
පිනිබර සමන් සුවඳක් විහිදුනි   මෙලෙක

තරණය කළෙමි කඳු හෙල් සැඩ ගං    පතර
අදවස තරම් වෙහෙසක් නොදැනිනි   නිතර
කවදා කොතනකදි හෝ මේ වැලි      කතර
නොදිටිමි සිහිල් සුවයක් ඔහු ළඟ       විතර

මුළු ලොව යස ඉසුරු මදි බව සිතෙන      විට
ඉර හඬ කනක තරු පොඩි බැඳ එකතු  කොට
දෙව් පඬුරකට ලැබුනොත් අස්           ඉදිරිපිට
ඔබගේ සුසුමකට නොවටී පුතුනි              මට

උරුමය සමග ලය මැද්දෙන් ගලන       ගඟේ
සෙසු යස ඉසුරු පවරමි හැම එකම      වගේ
ඈ තුල මැවුනු මා වැනි මේ පුරුක         දිගේ
සවි වෙයි ඇගේ තුරුලට ඇති බැඳුම     මගේ 

පිය සෙනෙහස පීදෙන යුරු මවු නෙත සිහිනෙන් දුටු... කිවිඳිය මවුම වේයැ.

1 May 2012

මතක පොත පිටු අතර මිතු දමක් සැඟවුනේ

කඳු හසරැලි අතර කෙලි දෙලින් උන්  දිනේ
අරුමෙකැයි හෝරාව කීම හනික නිම  උනේ
සුවඳ මල් අතර බිඟු සමනලුන් සිටි      වනේ
අලු පහව අඳුර දී කීම ලහිරු         සැඟවුනේ

දයාබර මිතු දමක අපේ කෙටි                 කතාවේ 
මතකයන් පමණි මා සන්තකව            පැවතුනේ
වැල්ලෙ එබි පිය ලකුණු රැල්ල නොදසුන්   කළේ 
පැය කටුව නොඑන් මා වෙතට රැල්ලක්   ලෙසේ

වකෙනු ඉඩ සර නැතත් කරන සර යලි    දිනක
රැඳෙනු අවසර නැතත් නයන තිර කිසි   දිනෙක
අද විලස හමු වන්න නොලැබුනත් මතු  දිනෙක
ශිලා කැටයමක් වී හිඳින් ළඟ හැම          දිනක

නැගෙන සොමි කැන් යටින් තරු සන්ගවෙනා   ලෙසේ
කාලයේ සැඟවුනත් මිතු දහම යම්                   ලෙසේ
නොමියී දිලේ යුග තාරකාවක්                        ලෙසේ
සබඳ ඔබ... සබඳ ඔබ... කිම් ලියම් කොයි        ලෙසේ?!

30 April 2012

උසස් පෙළ අත ලඟයි


මා ඇඟිලි තුඩු අතර
      සිරවගත් පැන්සලයි
නිදිබරව පියවෙනා 
      නෙත ඉදිරිපස පොතයි
නිවුටන් ඩෝල්ටන්
      පොර බදින මගෙ සිතයි
මඳක් ඈතින් ඇසෙන
      මියුරු සත් සර නද යි 
මා පසෙක හුනියම
      කෙටි තැපැල් පෝලිමයි
මෑණියන් හදා දුන්
      උණු කෝපි ජෝගුවයි
මාස දෙකකින් ලබන
      උසස් පෙළ අත ලඟයි
මේ සෑම දේ කැටුව
      මා ගමන කොයි බටයි?

2009 වසරේ ජුනි මස එක්තරා රාත්‍රියක කාන්සිය මැකෙනු වස් මාතින් ලියවුනු පැදි පෙළකි.

29 April 2012

පුතා කවදද ආයේ එන්නේ?


හඹා ගොස් රුපු ඔද බිඳින්නට
ලක් මවගේ නම බබලවන්නට
පෙවූ කිරි වල ණය ගෙවන්නට
පුතා ගොස් ඇත රට රකින්නට

ගියත් හරි ලොකු පුතා ගෙදරින්
නිහඬතාවය නිවස පිරුණේ
සවන පිරවූ රේඩියෝවද
අද තනිව මුනිවත රකින්නේ

රෑ දවල් දෙක රැඟුම් පෙන්වූ රුප පෙට්ටිය හූල්ලනවා
පවන සමගින් ඔට්ටු ඇල්ලු සයිකලය මුල්ලක නිදනවා
රංචු ගැහෙමින් රෑනේ ඉගිලුන යහළුවන් පුතු ගැන අහනවා
නන්ද මාමල අයිය අක්කල ලියුම් කරදහි  ගැන  අහනවා

දිවා රෑ පුතු කනේ ඇලවුණු
හැන්ඩ් ෆෝනය මල්ලි ගත්තා
සතියකට පෙර පුතා හොයලා
ගෑනු ළමයෙක් call කෙරුවා

කඳවුරට ගිය දිනම පුතු එවූ
පුංචි ලියමන ඊයේ ලැබුන
"අම්මේ ආමී..... ලඟදි නේවී..."
කියා පුතු එහි ලියල තිබුනා

තැපෑලෙන් එන දෙනෝදාහක්
bill අතර මැද පුතු හොයන්නේ
අඳුරු නිවසට එලිය අරගෙන
පුතා කවදද ආයේ එන්නේ?

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මගේ සොයුරා (කුසල් මුණසිංහ) ගේ නිර්මාණයක් 

ඔබමය ඔබම පමණය සිත සැනසීම

තිර පට මදිය ගත සීතල        නිවන්නට

සුරඟන මදිය රුව නෙත     අස්වසන්නට
පන්සිළු මදිය සුරු දෙසවන    පිනන්නට
මේ දුර මදිය සිත තනිකම    දැනෙන්නට 

ඡායා ලුහුබඳින්නේ අළු තිබෙන             තුරා
පායා සඳ දිලෙන්නේ හිරු තිබෙන          තුරා
රුවනා රැලි නගන්නේ නල හමන          තුරා
සිත් බැමි නොම ලිහෙන්නේ පිරිනිමෙන   තුරා 

හිඳගෙන සිටිමි ඇකයේ ඉන්නේ     නුඹය
සැතපී සිටිමි තුරුලේ ඉන්නේ        නුඹය
සක්මන් කරමි අත ගෙන එන්නේ   නුඹය
ගත ළඟ නැතත් සිත හා වාසය       නුඹය 

කලාකරුවාණනි ඔබ...


කලා කරුවාණනි ඔබ
කැටපතක් වැන්න නිර්මල මනස
ග්‍රහණය නොකරයි කිසිවක්, ප්‍රතික්ෂේප නොකරී කිසිවක්
ලබාගන්නා නමුදු, තබාගන්නේ නැතිය.
සිතුවමත්, සංගීතයත් මවන විටත් විඳින විටත්
රැඳෙයි සිත එකම අරමුණක. නිර්මලයි සිත එවිට.
කලාව රාගය සම්මිශ්‍රය, එසේ උවද,
කලාව යම් පමනින් උසස් වේද..
එපමණකින්ම දුරු වී යයි රාගය.