30 April 2012

උසස් පෙළ අත ලඟයි


මා ඇඟිලි තුඩු අතර
      සිරවගත් පැන්සලයි
නිදිබරව පියවෙනා 
      නෙත ඉදිරිපස පොතයි
නිවුටන් ඩෝල්ටන්
      පොර බදින මගෙ සිතයි
මඳක් ඈතින් ඇසෙන
      මියුරු සත් සර නද යි 
මා පසෙක හුනියම
      කෙටි තැපැල් පෝලිමයි
මෑණියන් හදා දුන්
      උණු කෝපි ජෝගුවයි
මාස දෙකකින් ලබන
      උසස් පෙළ අත ලඟයි
මේ සෑම දේ කැටුව
      මා ගමන කොයි බටයි?

2009 වසරේ ජුනි මස එක්තරා රාත්‍රියක කාන්සිය මැකෙනු වස් මාතින් ලියවුනු පැදි පෙළකි.

29 April 2012

පුතා කවදද ආයේ එන්නේ?


හඹා ගොස් රුපු ඔද බිඳින්නට
ලක් මවගේ නම බබලවන්නට
පෙවූ කිරි වල ණය ගෙවන්නට
පුතා ගොස් ඇත රට රකින්නට

ගියත් හරි ලොකු පුතා ගෙදරින්
නිහඬතාවය නිවස පිරුණේ
සවන පිරවූ රේඩියෝවද
අද තනිව මුනිවත රකින්නේ

රෑ දවල් දෙක රැඟුම් පෙන්වූ රුප පෙට්ටිය හූල්ලනවා
පවන සමගින් ඔට්ටු ඇල්ලු සයිකලය මුල්ලක නිදනවා
රංචු ගැහෙමින් රෑනේ ඉගිලුන යහළුවන් පුතු ගැන අහනවා
නන්ද මාමල අයිය අක්කල ලියුම් කරදහි  ගැන  අහනවා

දිවා රෑ පුතු කනේ ඇලවුණු
හැන්ඩ් ෆෝනය මල්ලි ගත්තා
සතියකට පෙර පුතා හොයලා
ගෑනු ළමයෙක් call කෙරුවා

කඳවුරට ගිය දිනම පුතු එවූ
පුංචි ලියමන ඊයේ ලැබුන
"අම්මේ ආමී..... ලඟදි නේවී..."
කියා පුතු එහි ලියල තිබුනා

තැපෑලෙන් එන දෙනෝදාහක්
bill අතර මැද පුතු හොයන්නේ
අඳුරු නිවසට එලිය අරගෙන
පුතා කවදද ආයේ එන්නේ?

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මගේ සොයුරා (කුසල් මුණසිංහ) ගේ නිර්මාණයක් 

ඔබමය ඔබම පමණය සිත සැනසීම

තිර පට මදිය ගත සීතල        නිවන්නට

සුරඟන මදිය රුව නෙත     අස්වසන්නට
පන්සිළු මදිය සුරු දෙසවන    පිනන්නට
මේ දුර මදිය සිත තනිකම    දැනෙන්නට 

ඡායා ලුහුබඳින්නේ අළු තිබෙන             තුරා
පායා සඳ දිලෙන්නේ හිරු තිබෙන          තුරා
රුවනා රැලි නගන්නේ නල හමන          තුරා
සිත් බැමි නොම ලිහෙන්නේ පිරිනිමෙන   තුරා 

හිඳගෙන සිටිමි ඇකයේ ඉන්නේ     නුඹය
සැතපී සිටිමි තුරුලේ ඉන්නේ        නුඹය
සක්මන් කරමි අත ගෙන එන්නේ   නුඹය
ගත ළඟ නැතත් සිත හා වාසය       නුඹය 

කලාකරුවාණනි ඔබ...


කලා කරුවාණනි ඔබ
කැටපතක් වැන්න නිර්මල මනස
ග්‍රහණය නොකරයි කිසිවක්, ප්‍රතික්ෂේප නොකරී කිසිවක්
ලබාගන්නා නමුදු, තබාගන්නේ නැතිය.
සිතුවමත්, සංගීතයත් මවන විටත් විඳින විටත්
රැඳෙයි සිත එකම අරමුණක. නිර්මලයි සිත එවිට.
කලාව රාගය සම්මිශ්‍රය, එසේ උවද,
කලාව යම් පමනින් උසස් වේද..
එපමණකින්ම දුරු වී යයි රාගය.