11 May 2012

රාහුල හිමි සරස්වතී තෛලෙ බීපු කතා පුවත

ශඩ් භාෂා පරමේෂර නමින් පිදුම් ලැබ           ගෞරව 
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන තතු කියමි   සොඳව 
සැළලිහිණිය කවිසේකර තව කවි පොත් ලියූ  මැනව
කෑගලු පුර උපන් සමිඳු ලබුවයි ලොව පූජිත       බව

ගාලු පුරේ විජයභාහු පිරිවෙන පුවතර             වන්නේ
වෑත්තෑවෙ ගුරු හිමි යට රාහුල නම වැඩ         ඉන්නේ
පිරිවෙන හැම සිත් පිනවූ ගිරවෙක් නිති     කලරින්නේ
හෙළ සාහිත කසුන් සමය කල මෙපුවත සිදු    වන්නේ

වෑත්තෑවෙ සමිඳු නිතර හර බර වූ බන              දෙසනා
බණට වඩින කල එතුමෝ වෙසෙස් කෙමක්   පිළිපදිනා
සරස්වතී මහ බල තෙල සොඳවා නැණ බෙල      වඩනා
ඇඟට විසත් නැණ බෙල දෙන මාත්‍රාව         සලකන්නා

එළු කෙන්දක් තෙලෙන් තෙමා සත් වරකුත් ගසා            ඉවත
එහි ශේෂය දිවේ තියා පතයි නුවණ ලැබෙනු                  නියත
රාහුල හිමි ගුරුතුමාගෙ කෙම ගැන යොමවයි තම             සිත
කෙතෙක් වෙයිද වැළඳුවහොත් තෙල් උගුරක් සැලසෙන  සෙත

වෑත්තෑවෙ හිමි පිරිවෙන තුල නොරැඳුණු නැකත  බලා
රාහුල හිමි සරස්වතී තෙල ගත්තා කටට              හලා
සිහි සුන් වී අද වැටුනේ හලාහලය උඩු              දුවලා
ගිරවා කෑ මොර දුන්නේ කියලා 'රාහුලය            මළා'

වෑත්තෑවෙ හිමි නම වෙත මෙවූ පුවත සැළ         වූවා
රාහුල හිමි සිටි අයුරින් සිදු වූ දේ සිහි                 වූවා
ගිලන් සමිඳු සුව කරන්න පණිවිඩයක්      පැතිරෙව්වා
තන කිරි ඇති මවු වරු වෙත ඉල්ලීමක්         කියවූවා 

'ඕනෑනම් ඔබ සැමටම රාහුල හිමි                   බේරගන්න
බේත් ඔරුව පිරී යන්න තනේ තියන කිරි           දොවන්න'
මගෙ බිලිඳුට සෙතක් වෙන්න මේ කල පින හේතු  වෙන්න
ගමේ සිටිය කිරි මවු වරු පටන්ගත්ත කිරි           දොවන්න

බේත් ඔරුව අඩක් උසට වන තෙක් මවු කිරි             පිරුනේ
සිහි සුන් වූ රාහුල හිමි මවු කිරි තුල                 ගිල්වෙන්නේ
තෙලෙහි විසේ බලයෙන්නේ සුදු කිරි නිල් පැහැ       ගන්නේ
මවු කිරි ගුණ තෙද පාමින් රාහුල හිමි සිහි                එන්නේ

දුවේ පුතේ මේ පුවතේ පාඩම් කීපයක්                       ඇතේ
හැම දෙයක්ම නිසි පමණට වැඩි වූ තැන විපත්          වෙතේ
මවු සෙනෙහෙත් මවු කිරියෙත් බලය හරිම උතුම්       පුතේ
රාහුල හිමි ලියු පත පොත කියවුවහොත නැණ      වැඩෙතේ

6 comments:

  1. අති විශිෂ්ඨයි....කතාව දැනන් උන්නත් කවියෙන් ලියලා තියෙන නිසා හරි ආසාවෙන් කියව්වේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා..! ඔයාගෙ අදහස මට හයියක් :-)

      Delete
  2. ඔළුව පොඩ්ඩක්හෙල්ලුනාදත් මන්ද,ඒත්වැඩේ නියමයි...

    ReplyDelete
    Replies
    1. :P අර මොකෝ ඔලුව හෙල්ලුනේ?? කොමෙන්ටුවට ස්තුතියි!! :)

      Delete
  3. මෙන්න මමත් ආවා බුක් මාර්ක් එකකුත් දාගත්තා පේජ් එක හිමින් හිමින් කියවන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. මගෙ පුංචි කවි එකතුව බලන්න ආවට ස්තුතියි.. රස වින්දානම් ඒක මට සතුටක්.

      Delete